
කොවිඩ් -19 රෝගයෙන් මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා Casirivimab හා Imdevimab යන ඖෂධ රජය විසින් මිලදී ගනු ලැබීම ඥානාන්විත වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, REGN-COV2 සන්නාම නාමය යටතේ නිෂ්පාදිත මෙම ඖෂධ බරපතළ කොවිඩ් රෝග තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් සහිත සහ සුළු හා සාමාන්‍ය මට්ටමේ රෝග තත්ත්වයන්හි පසුවන කොවිඩ් රෝගීන්ට හදිසි භාවිතය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පාලන ෆෙඩරල් නියෝජිත ආයතනය අවසර ලබාදී ඇති බවය.
ඇමරිකා එක්සත් ජනපදයේ සිටින තම මිතුරන් ප්‍රකාශ කළේ, රෝගය උත්සන්න වීම වැළැක්වීම මගින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා දුන් ආශ්චර්යමත් ඖෂධයක් ලෙස මෙය සැලකෙන බව යැයි සජිත් ප්‍රේමදාස මහතා සිය සටහනේ සඳහන් කර ඇත.
ඒ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය විසින් අදාළ විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරා ගැනීමට මෙම ජීවිතාරක්ෂක ඖෂධ මිලදී ගැනීමට කටයුතු කිරීම ඥානාන්විත වනු ඇති බවය.