Home » කොවිඩ්-19 වැළඳුණු දරුවන්ට වැළඳෙන විශේෂ බරපතළ රෝගයක් මෙරටින් හඳුනා ගැනේ

කොවිඩ්-19 වැළඳුණු දරුවන්ට වැළඳෙන විශේෂ බරපතළ රෝගයක් මෙරටින් හඳුනා ගැනේ

by Gossip Lanka News
0 comment 325 views
කොවිඩ්-19 වැළඳුණු දරුවන්ට වැළඳෙන විශේෂ බරපතළ රෝගයක් මෙරටින් හඳුනා ගැනේ

කොවිඩ්-19 රෝගයට සම්බන්ධ ළමයින්ට බලපාන විශේෂ රෝගී තත්ත්වයක් මෙරටින් හඳුනාගෙන ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.

මේ දිනවල රට පුරා පැතිර යන මෙම රෝගය Multisystem Inflammatory Syndrome in Children (MIS-C) ලෙස හඳුන්වනු ලබන බව ඒ මහතා පැවසීය.

මෙය කොවිඩ්-19 රෝගය වැළඳී සති 2-6 පමණ කාලයකට පසු ළමයින්ට වැළඳෙන රෝගී තත්ත්වයකි.

කිතුල්වත්ත මහතා සඳහන් කළේ, මෙම රෝගය සම, ඇස්, හෘදය, පෙනහලු, වකුගඩු සහ අක්මාව වැනි අවයව ගණනාවකට බලපෑමට හැකියාවක් ඇති බවය.  

“මේකේ ප්‍රශ්නය තියෙන්නේ කවුරුත් දන්නේ නැහැ කොවිඩ් හැදිලා තියෙනවා කියලා. සමහර වෙලාවට අපි කවුරුවත් දන්නේ නැතුව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්.”

මේ වන විට එම රෝගයට ගොදුරු වුණු ළමයින් 6 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රති කාර ලබන බව කිතුල්වත්ත මහතා පැවසීය.

“මේ ළමයි සාමාන්‍යයෙන් අවුරුදු 8ත් 15ත් අතර වගේ ළමයි. හොඳින් වැඩුණු ළමයි.”

කිතුල්වත්ත මහතා සඳහන් කළේ උණ, දැඩි ඇඟේ පතේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම සහ සමේ ඇති වන දද එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන බවය. 

“මේකේ භයානක තත්ත්වය තමයි මේක හෘදය වස්තුවට බලපාලා, රුධිර පීඩනය අඩු වෙලා සමහර වෙලාවට මිය යාමට පවා ඉඩ තියෙනවා,” යැයි ඔහු සඳහන් කළේ ය.

මෙම රෝගය නව රෝගයක් වන අතර 2020 වසරේ අප්‍රේල් මාසයේදී එංගලන්තයේදී මුලින් ම හඳුනා ගෙන තිබේ. මේ වන විට එම රෝගය ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි පෙනෙන්නට ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

“අපි දැනට දන්නවා රෝගය වැළඳුණ ළමයි කිහිප දෙනෙක් ම අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ලංකාව පුරා තැන් තැන්වලින්. ඒ නිසා මේක රට පුරා ම පැතිරෙන්නට ඉඩ තියෙනවා.”

ඒ හේතුවෙන් මේ දිනවල දරුවන්ට උණ, පාචනය, බඩේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහා ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන ලෙසත් එසේ නොවුණහොත් දරුවාගේ ජීවිතයට අනතුරක් විය හැකි බවත් කිතුල්වත්ත මහතා අවධාරණය කළේ ය.

ඔහු සඳහන් කළේ, තවමත් මෙරටින් මෙම රෝගීන් මරණයට පත් වූ බවට වාර්තා වී නොමැති බවත් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ රටවල්වල දරුවන් මෙම රෝගී තත්ත්වයෙන් මිය ගොස් ඇති බවට වාර්තා වී ඇති බවත් ය.

“දැනට අපි දැකලා තියෙන හැම රෝගියෙක් ම කොවිඩ්වලට සම්බන්ධයි. අපි කොවිඩ් හඳුනා ගන්න ක්‍රම 3ක් තියෙනවා. එකක් තමයි කොවිඩ් ඇන්ටිජන් එකක් අපිට කරලා බලන්න පුළුවන්. දෙවනි එක තමයි පී.සී.ආර්. ටෙස්ට් එකක් කරලා බලන්න පුළුවන්. තුන්වන එක තමයි, ඇන්ටිබොඩි කියලා අපි පස්සේ කරබවා ප්‍රතිදේහ හඳුනා ගැනීමේ පරීක්ෂණයක්. 

මම මේ කතා කරන ළමයි 6 දෙනා ම මේ එකක් හෝ ටෙස්ට් එකක් පොසිටිව් වෙලා තියෙනවා. ඒකේ තේරුම මේ ගොල්ලන්ට කොවිඩ් වැළඳිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කවදා ද වැළඳුනේ කියන එක අපි හරියට ම දන්නේ නෑ. සමහර අයට දැනටත් රෝග ලක්ෂණ තියෙනවා. සමහර වෙලාවට කවුරුත් දන්නෙත් නෑ, අම්මලා දන්නෙත් නෑ, නමුත් නොදැනුවත්ව ම, මොක ද ළමයින්ගේ වැඩි පිරිසකට කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයේ තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නෑ මේ දරුවන්ට කොවිඩ් තිබුණා ද කියලා.”

මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් රාගම සහ කළුබෝවිල රෝහල්වල සිට මාරු කරන එවන ලද සහ කොළඹ අවට ප්‍රදේශවලින් වාර්තා වුණු රෝගීන් බව විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය. 

එමෙන් ම, වැලිමඩ ප්‍රදේශයෙන් ද එක් රෝගියෙකු හඳුනාගෙන ඇති බවත් පසුව එම රෝගියා බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සුව වී රෝහලෙන් පිටව ගොස් ඇති බවත් ඒ මහතා සඳහන් කළේ ය.  

“ඒ කියන්නේ, මේ රෝගය ලංකාව පුරා ම පැතිරිලා තියෙන්න පුළුවන්. අපි අවදියෙන් ඉන්න එකයි වැදගත් වෙන්නේ.”

Leave a Comment

You may also like