Home » කොවිඩ්-19 සම්බන්ධ අලුත් චක්‍රලේඛයක් ගැන PHI සංගමය කණස්සල්ලෙන්

කොවිඩ්-19 සම්බන්ධ අලුත් චක්‍රලේඛයක් ගැන PHI සංගමය කණස්සල්ලෙන්

by Gossip Lanka News
0 comment 286 views
කොවිඩ් 19 සම්බන්ධ අලුත් චක්‍රලේඛයක් ගැන PHI සංගමය කණස්සල්ලෙන් Skyylk

නිවෙස්වල මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ග්‍රාම නිලධාරීවරුන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් හරහා ඥාතීන් වෙත නිදහස් කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.

මෙතෙක් නිවෙස්වල මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදෙන වාර්තා මත පදනම්ව ආදාහනයට යොමු කෙරිණ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ, ‘කොවිඩ්-19 අතරතුර සිදුවන දෛනික මරණ කළමණාකරණය’ මැයෙන් පසුගිය ජූනි 25 වන දා නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් එය වෙනස් වන බවය.

ඒ අනුව නිවසේදී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ඥාතීන් වෙත නිදහස් කිරීමේ හැකියාව නිර්ණායක කිහිපයකට යටත්ව ග්‍රාම නිලධාරීන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන්ට හිමිව තිබේ.

‘මෙතෙක් නිවෙස්වලදී සිදුවන සියලු ම මරණ පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් කිරීම හේතුවෙන් එම මෘත දේහ ඥාතීන්ට නිදහස් කිරීමට ප්‍රමාද වීම’ යන කරුණ ⁣මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

මෙම ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව තීරණයන්ට එළඹ ඇත්තේ, පසුගිය ජූනි 18 වනදා ජනාධිපති කාර්යාලයේදී පැවති කොවිඩ්-19 කාර්ය සාධක බළකා රැස්වීමේදීය. 

කොවිඩ්-19 වසංගතය අතරතුර සිදුවන ඇතැම් මරණ කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා සිදු වුවත් බහුතර මරණ කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා සිදු නොවන බවට සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වී ඇතැයි යන කරුණ මත පදනම්ව එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, මෙතෙක් කොවිඩ් මළ සිරුරු සම්බන්ධ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදෙන නිෂ්කාෂණ වාර්තාව මත පදනම් වුවත් මින් ඉදිරියට එවැනි වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය නොවන බව එහි සඳහන් වේ. 

මෙම තීරණය සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන්ගේ පැහැදිලි කිරීම කුමක් දැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ සඳහන් කළේය.

“පහුගිය කාලේ 60ට වැඩි කොවිඩ් වැළඳුණු අය රෝහල්වලට නොයා හදිසියේ නිවෙස්වල ම මැරුණා. ග්‍රාමසේවක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා අධිකරණ වෛද්‍යවරයාට යැව්වා ම, පී.සී.ආර්. කරා ම ගොඩක් ඒවා පොසිටිව් වුණා. පහුගිය කාලේ ගෙවල්වල මිය ගියේ විශාල ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයින්. 

මේක අනුව මහජන පරීක්ෂකවරුන්ගේ නිෂ්කාෂණ වාර්තා බලන්නේ නැතිව ඥාතීන්ට මළ සිරුර භාර දිය හැකියි.

දැනටමත් බොහෝ අය 60ට වැඩි අය තමා මිය යන්නේ. ඒ අයට හෘද රෝග, වකුගඩු රෝග ආදි වෙනත් රෝග තිබිලා මැරිලා යන්නේ. හදිසියේ මරණ පරීක්ෂක හරි ග්‍රාමසේවක හරි වෙනත් රෝගයක් කියලා තහවුරු කරොත් ඒ පුද්ගලයාට අදාළ අනෙක් පුද්ගලයින්ට වෙන හානියට වග කියන්නේ කවුද?”

අදාළ චක්‍රලේඛනයට අනුව පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ මෙන් ම මහජන පරීක්ෂකවරුන්ගේ සහතිකයකින් තොරව, ග්‍රාම නිලධාරීන් හෝ හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් නිවසේදී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ඥාතීන් වෙත නිදහස් කරනු ලබන්නේ නම් සපුරාලිය යුතු නිර්ණායක කිහිපයක් සඳහන් වේ. 

ඒවා නම්, 

1. මරණකරු කොවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයෙකු නොවිය යුතු වීම

2. මරණකරුගේ ආශ්‍රිතයන් කොවිඩ් ආසාදනය වී හෝ නිරෝධායනය නොවන පුද්ගලයින් විය යුතු වීම

3. මරණකරු මිය යන අවස්ථාවේ හෝ ඉන් පෙර සති 02ක් තුළ ජීවත් වූ ග්‍රාම නිලධාරී කොට්ඨාසය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් හුදෙකලා බවට ප්‍රකාශ කරන ලද ප්‍රදේශයක් නොවිය යුතු වීම

4. මරණකරුගේ මරණයට අදාළ බැලූ බැල්මට දෘශ්‍යමාන වන හෝ නිශ්චිත හේතුව කොවිඩ් ආසාදන වීමකට අදාළ නොවිය යුතු වීම.

– එය නිර්ණය කළ හැක්කේ මිය යාමට පෙර උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර කැසීම, ගඳ සුවඳ නොදැනීම, මාංශ පේශී වේදනාව, හිසරදය ආදී ලක්ෂණවලින් තොරවීම තුළින් බව ද එහි සඳහන් වේ. 

තව ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් මාස 3ක් තුළ නිවසේදී මිය යන්නේ නම්, එම පුද්ගලයාගේ නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවන බව ද සඳහන් වේ. 

එම පුද්ගලයා කොවිඩ් ආසාදනය වූ බවට සඳහන් කිරීමද අවශ්‍ය නොවන බවත් එබැවින් එම මෘත දේහ සාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීම සිදු කළ හැකි බවත් සඳහන් වේ. 

මේ සම්බන්ධව කරුණු පැහැදිලි කළ මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ, උදාහරණයක් වශයෙන් ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූලව මළ සිරුරු යළි නෑවීම වැනි චාරිත්‍ර ඉටු කිරීම් හරහා පවා වෛරසය සමාජගත වීමට හැකි බවය. 

නව චක්‍ර ලේඛනය මගින් නිවස තුළ මිය ගිය අයෙකුගේ දේහය පැය 24ක් නිවැසියන්ට තබා ගැනීමේ හැකියාව ඇත.

එනිසා යම් හෙයකින් කොවිඩ් ආසාදිතව මිය ගිය අයෙකු වෙනත් රෝගයකින් මිය ගිය බවට හඳුනාගෙන ඥාතීන් වෙත ලබා දුනහොත් වෛරසය පැතිරී අත්වන ප්‍රතිඵලය අතිශය භයානක විය හැකි බව ද ඔහු පැවසීය.

මින් ඉහත සිදු වූ ආකාරයට මෘත දේහයක් පී.සී.ආර්. පරීක්ෂණයට බඳුන් කර කොරෝනාවෛරසය පොසිටිව් අයෙකු බව හඳුනා ගතහොත් එම පුද්ගලයාගේ නිවැසියන් ඇතුළු පළමු පෙළ ආශ්‍රිතයින් ද පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කළ බව ද ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, එමගින් රෝග ව්‍යාප්තිය බොහෝ සෙයින් වළක්වා ගැනීමට හැකි වූ බවය.

නමුත් මෙම චක්‍රලේඛනය මගින් ලබා දී ඇති නිර්ණායක අනුව මෘත දේහවලට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයන් සිදු නොකර මෘත ශරීර ඥාතීන්ට ලබාදිය හැකිය.

එබැවින් ඉන් ඇති විය හැකි බලපෑම සම්බන්ධව කළ විමසීමේදී ඒ මහතා මෙලෙස සඳහන් කළේය.

“මරණකරු ආසාදනය වෙලා ඔහු සමග ආශ්‍රය කළ පළමු පෙළ ආශ්‍රිතයින් හඳුනාගැනීමට නොහැකි වෙනවා. එමගින් මෙය නැවත සමාජගත වෙලා පොකුරු නිර්මාණය විය හැකියි. මළ සිරුරු ලබා ගැනීමට වන ප්‍රමාදය වළක්වා ගත යුතුයි, ඒ කියලා ර⁣ට තුළ අනු පොකුරු නිර්මාණය නොකළ යුතුයි.”

ඔහු තවදුරටත් සඳහන් කළේ, ඩෙල්ටා වැනි රෝග ලක්ෂණ කඩිනමින් පෙන්නුම් නොකරන විකෘති කොරෝනාවෛරස ප්‍රභේද රට පුරා යම් යම් ස්ථානවලින් වාර්තා වන වටපිටාවක මෘත දේහ ජනතාවට ලබාදීම අතිශය බරපතළ ප්‍රතිඵල අත්කර දිය හැකි බවය.

මීට අමතරව අදාළ චක්‍රලේඛයේ සඳහන් ආකාරයට මෘත දේහයක් සම්බන්ධව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කළ යුතු නම් එය සිදු කරන ආකාරය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරෙන ආකාරය පහත පරිදි වේ.

1. අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයක් වෙත යොමු කෙරෙන මෘත දේහවලට අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ලබන්නේ අධිකරණ වෛද්‍යවරයාගේ අභිමතය පරිදි වේ.

2. එම මෘත දේහවල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ ද නොකළ ද හදිසි මරණ පරීක්ෂණයකට යොමු වන්නේ නම් හදිසි මරණ පරීක්ෂකවරයාට පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මෘත දේහය ඥාතීන්ට නිදහස් කිරීමේ හැකියාව ඇත.

3. රෝහල් තුළ සිදු වන කොවිඩ් මරණවලට අදාළව මරණය සිදු වූ ආකාරය ස්වභාවික නම් සහ මරණ පරීක්ෂණයක් අවශ්‍ය නොමැති නම්, එම මෘත දේහයට අදාළ මරණ ප්‍රකාශය වාට්ටුවේ වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ලබනු ඇත.

4. පී.සී.ආර්. පරීක්ෂණය පොසිටිව් වන්නේ නම්, එම මෘත දේහයට අදාළ මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් නිර්ණය කළ යුතු අතර එලෙස පී.සී.ආර්. පරීක්ෂණ පොසිටිව් වන මෘත දේහ සියල්ලක් ම මරණ පරීක්ෂණයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතුය.

– මීට හේතුව ලෙස කොරෝනාවෛරසය ආසාදනය වූ මෘත දේහවල මරණයට⁣ හේතුව විද්‍යානුකූලව සඳහන් කළ යුතු වීම සහ එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිසි ක්‍රියාවලිය යටතේ දැනුම් දීම ක්‍රමවත්ව සිදුවිය යුතු වීම බව දක්වා තිබේ. 

කෙසේ වෙතත් මෙම මරණවල අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කළ යුතු අතර මෘත ශරීරය එම්බාම් නොකළ යුතු බව ද සඳහන් වේ.

එම මෘත දේහ නිවසේ සිට ආදාහනය හෝ භූමිදානය සඳහා ගෙන යා යුතු අතර මල් ශාලා වැනි අතරමැදි ස්ථානවල තබාගැනීම සපුරා තහනම් බව ද දැක්වේ. 

එමෙන් ම රෝහල්වලින් මෘත ශරීර නිදහස් කිරීම දිවා කාලයේ දී මෙන් ම පහසුකම් ඇති රෝහල්වල බලධාරියාගේ එකඟතාව මත රාත්‍රී කාලයේදී ද සිදු කළ හැකි බැවින් එම මෘත දේහ රාත්‍රී කාලයේදී ද ඥාතීන් වෙත මුදාහැරීමට කටයුතු කරන මෙන් මරණ පරීක්ෂකවරුන්ට දැනුම් දී තිබේ.

පසුගිය ජූනි 9 වැනිදා කොවිඩ්-19 සඳහා රසායනාගාර පරීක්ෂණ උපාය මාර්ග පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ  සඳහන් මාර්ගෝපදේශ පිළිබඳව ද විමසා බැලීමක් කළේය.

එහි දැක්වෙන්නේ කොවිඩ්-19 යැයි සැක කෙරෙන රෝග ලක්ෂණ සහිත රෝගීන්ට මූලික පරීක්ෂණය හෝ ද්විතීයික පරීක්ෂණය ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාව සිදු කළ යුතු බවය. 

ඒ අනුව පී.සී.ආර්. පරීක්ෂණයක් එම අවස්ථාවේදී සිදු නොකරයි.

නිරෝධායයට ලක්වන්නන් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව මෙතෙක් කලක් සිදු වු ආකාරයට කොරෝනා පළමුපෙළ ආශ්‍රිතයින් දින 10කින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් කිරීම අනවශ්‍ය බව සඳහන් කර ඇත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන්නේ දින 14කින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට පමණක් ඔවුන් ලක් කළ යුතු බවය.

මින් පෙර පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ විට ඔවුන් ආසාදිත බව හඳුනා ගත හොත් ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් වී සමාජයේ සැරිසරන පුද්ගලයින් ද නිරෝධායනයට ලක් කිරීම සිදු වී ඇති ඇත.

නමුත් මෙම චක්‍රලේඛයට අනුව පෙර ආසාදනය වී සිටි අයෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව නෙගටිව් විය හැකි බව ද මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙතෙක් නිකුත් කර ඇති වක්‍රලේඛ කිහිපකට අදාළව සිදු කළ මෙම විමසීම අනුව පැහැදිලි වූ කරුණු සැකවින් විමසීමේදී,

– ඉදිරි කාලය තුළ මහජන පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ වාර්තා නොසලකා ග්‍රාම නිළධාරීන් සහ හදිසි මරණ පරීක්ෂකවරුන් මගින් මෙලෙස මෘත දේහ ඥාතීන් වෙත ලබාදීමේ තීරණය 

– පළමු පෙළ ආශ්‍රිතයින්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු නොකර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පමණක් සිදුකිරීම 

– දින 21 කින් කිසිදු පරීක්ෂණයක් නොකර පළමුපෙළ ආශ්‍රිතයින් නිදහස් කිරීමේ හැකියාව ඇති බව

යන කරුණු පැහැදිලි වේ.

මෙම කරුණු හේතුවෙන් හඳුනාගන්නා හෝ හඳුනා නොගන්නා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු සමාජය තුළ සැරසැරීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරි කාලය තුළ කොරෝනාවෛරස ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවන්හි යම් අඩුවීමක් දත්තවලින් පෙන්නුම් කළත් සමාජය තුළ බරපතළ ලෙස කොරෝනාවෛරසය ආසාදිත වූවන් ව්‍යාප්ත විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

“මෙච්චර කල් පළමු පෙළ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. කරා. ඔවුන්ව සමාජගත කිරීමට බැහැර කිරීමේ පී.සී.ආර්. එක. 

දැන් දෛනිකව කෙරෙන පී.සී.ආර්. අඩු වෙනවා. එතකොට ඒවායින් නම් සිදු වන මරණ ප්‍රමාණය හඳුනාගන්නේ අනෙක් පැත්තෙන් මරණ ප්‍රමාණය අඩුවෙලා සාමන්‍යකරණය වෙනවා. එතකොට දැන් තියන කර්ව් එක නම් හෙමින් අඩුවෙලා යනවා.”

යනුවෙන් පැවසූ ඔහු අවධාරණය කළේ, පළමු පෙළ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් නොකිරීම හේතුවෙන් ඔවුන් ආසාදිතයින් නම් දෙවන පෙළ ආශ්‍රිතයින් හරහා රෝගය සමාජගත වීම නොවැළැක්විය හැකි බවය. 

එසේ ම මෘත දේහ පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් නොකිරීම නිසා හඳුනාගත නොහැකිව වෛරසය සමාජගත වීමක් සිදු වීම ද වැළැක්විය නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවය.

“වෛරසය කියන්නෙ වෘක්ෂයක් ඒකෙ නං ඒක කඳු අතු මුල් හැමදේක ම පැතිරෙන එක වළක්වන්න ඕන. හදිස්සියට විවිධ චක්‍රලේඛ යොදාගෙන experiment කරන්න ගියොත් අනු පොකුරු බිහි වෙලා, විකෘති ප්‍රභේද මතු වෙලා නැවත වතාවක් අපිට ගොඩක් මහන්සි වෙන්න වෙයි කියලයි අපි කියන්නේ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

You may also like