Home » තෙවන මාත්‍රාවෙන් ඩෙල්ටා පාලනය වන බව ඊශ්‍රායලය කියයි

තෙවන මාත්‍රාවෙන් ඩෙල්ටා පාලනය වන බව ඊශ්‍රායලය කියයි

by SKYY NEWS | SRI LANKA
0 comment 676 views
තෙවන මාත්‍රාවෙන් ඩෙල්ටා පාලනය වන බව ඊශ්‍රායලය කියයි Skyylk

ඊශ්‍රායලයේ තෙවන කොවිඩ් මර්ධන එන්නත ලබාදෙන වයස් සීමාව අවුරුදු 30 දක්වා පහළ දමා තිබේ.

මින් පෙර 3වන මාත්‍රාව ලබාදුන්නේ වයස අවුරුදු 40 ඉක්මවූවන්ටය.

3වන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කර මාසයක් ගතවීමටත් පෙර ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය වන සලකුණු දක්නට ලැබෙන බව ඊශ්‍රායල් සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විද්‍යාඥයින්ද පවසා තිබේ.

ඊශ්‍රායලය තුළ කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වුණි.

සිය ජනගහණයෙන් වැඩි පිරිසකට කොවිඩ් මර්දන එන්නතක් ලබාදී අවසන් කළ ලොව මුල් රටවල් කිහිපය අතරට ඊශ්‍රායලය ද අයත්ය.

මාර්තු මාසය වනවිට ඊශ්‍රායලයේ ජනගහනයෙන් බහුතරයකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කර තිබුණි.

ඒ අනුව ජූනි මාසය වනවිට ආරක්ෂිත මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමේ නීතියෙන් ඔවුන් සම්පූර්ණයෙන් බැහැර වූ අතර එරට තුළ ක්‍රියාත්මක වූ එකම කොවිඩ් පාලන නීතිය වූයේ රටට ඇතුල්වන හා රටින් පිටවන පුද්ගලයන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත්වීම පමණි.

නමුත් මේ වනවිට ඊශ්‍රායලයේ කොවිඩ් වෛරස ආසාදන පසුගිය කාලයට සාපේක්ෂව 5.4%කින් ඉහළ ගොස් තිබේ.

ජූලි මුල් භාගයේදී 200ත් 300ත් අතර පැවති එරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට දසදහසකට ආසන්න වී ඇත.

ඒ, ආක්‍රමණශීලී ඩෙල්ටා ප්‍රභේදය රට තුළ පැතිරීම හේතුවෙනි.

මුහුණු ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ඉවත්කිරීම නිසා රට තුළ ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබුණි.

ඒ අනුව දැන් නැවතත් මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇති අතර එය කඩකරන පුද්ගලයන්ට පොලීසිය දඩ මුදල් නියම කරන බව සඳහන්ය.

වෛරස ව්‍යාප්තිය පාලනය කොට 4 වැනි වරටත් රට ලොක්ඩවුන් කිරීමෙන් වළක්වාගැනීම සඳහා අවශ්‍ය පියවරගන්නා බව එරට අගමැතිවරයා පවසා තිබේ.

මේ අතර එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම තුළින් ලබන වසරේ මුල්භාගය වනවිට අමෙරිකාවේ වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇති බව වසංගත රෝග පිළිබඳ ඉහළම විශේෂඥ වෛද්‍යවරයා වන ඇන්තනි ෆෝචි පවසයි.

ෆයිසර් එන්නතට ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය හිමිවීම, පුද්ගලයන් වැඩිපිරිසකට එන්නත ලබාගැනීම සඳහා මාර්ගය විවර කිරීමක් බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.

ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 21 කෝටි 39 ලක්ෂය ඉක්මවා තිබේ.

වසංගතයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 44 ලක්ෂ 63 දහසකට අධිකය.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.