Home » ලෝකයක් මවිත කළ දස නිවුන් දරු උපත ඇත්තක් ද? බොරුවක් ද?

ලෝකයක් මවිත කළ දස නිවුන් දරු උපත ඇත්තක් ද? බොරුවක් ද?

by SKYY NEWS | SRI LANKA
0 comment 345 views
ලෝකයක් මවිත කළ දස නිවුන් දරු උපත ඇත්තක් ද Skyylk

දකුණු අප්‍රිකානු කාන්තාවක නිවුන් දරුවන් 10 දෙනෙකු ප්‍රසූත කර ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වුණු පුවත සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ, අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සිදු කළේ යැයි දකුණු අප්‍රිකානු මාධ්‍ය ආයතනයක් වන Independent Media ආයතනය පළ කළ පුවත සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ ගෞතෙන්ග් පළාත් රජය (Gauteng Provincial Government) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කිරීමත් සමගය.

එම නිවේදනය මහින් ගෞතෙන්ග් පළාත් රජය සඳහන් කර ඇත්තේ, තම පළාත තුළ රජයේ හෝ පෞද්ගලික රෝහලකදී මෙවැනි දරු උපතක් සිදු නොවූ බවය.

ජූනි 7 වන දා සිදු වූයේ යැයි කියන මෙම දරු උපත සම්බන්ධයෙන් තමන් පළාතේ රජයේ සහ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව සොයා බැලීමක් කළ ද එවැනි තොරතුරක් එම රෝහල් සතුව නොතිබුණු බව ගෞතෙන්ග් පළාත් බලධාරීන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

GAUTENG GOVERNMENT RESPONDS TO PUBLIC ENQUIRY ON THE BIRTH OF DECUPLETS pic.twitter.com/BbE7fatchj— GautengGov (@GautengProvince) June 9, 2021

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් Independent Media ආයතනය ප්‍රකාශ කරන්නේ, නිවුන් දරුවන් 10 දෙනෙකු ප්‍රසූත කළ පුවත අසත්‍ය නොවන බවත් එය ගෞතෙන්ග් සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කරනු ලබන දැවැන්ත වසන් කිරීමක් බවත් ය.

මේ පිළිබඳව පෞද්ගලික පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් අනතුරුව එම මාධ්‍ය ආයතනය ප්‍රකාශ කළේ, තම මුද්‍රිත හා මාර්ගගත ප්‍රකාශන දෙකෙහි ම පළ වූ පුවත් සම්බන්ධයෙන් තමන් පෙනී සිටින බවය.

ඉකුත් අඟහරුවාදා (ජූනි 8) Independent Media ආයතනය, 37 හැවිරිදි අප්‍රිකානු ජාතික ගොසියාම් තමාරා සිතෝල් නමැත්තියක් ප්‍රිටෝරියාහි රෝහලකදී නිවුන් දරුවන් 10 දෙනෙකු ප්‍රසූත කළ බවට සිය Pretoria News පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබිණි.

පසුව එම පුවත ලොව පුරා මාධ්‍ය වාර්තා කිරීමත් සමග බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් විය.

කෙසේ වෙතත්, එය සැමරීමට හේතුවක් කර නොගෙන, එම පුවත අපකීර්තියට පත් කිරීම සඳහා බලධාරීන් සැලසුම්සහගත ව්‍යාපාරයක් දියත් කර ඇතැයි Independent Media ආයතනය චෝදනා කරයි.

Pretoria News පුවත්පතේ ප්‍රවෘත්ති කතෘවරයෙකු වන පීට් රම්පෙඩිව ආගමික ස්ථානයක් මගින් 2020 වසරේ දෙසැම්බර් මාසයේදී සිතෝල් සහ ඇගේ සහකරු වන ටෙබෝගෝ සොටෙට්සි යන දෙදෙනාට හඳුන්වා දුන් පසු, මාස ගණනාවක් තිස්සේ ඔහු මෙම කතාව පසුපස සිටි බව Independent Media ආයතනය සඳහන් කළේය.

ඒ අනුව, රම්පෙඩි මෙම යුවළ සමග නිරන්තර සබඳතා පවත්වා ඇත. පසුව දරුවන් අට දෙනෙකු අපේක්ෂා කරන බවට වන සිතෝල්ගේ ගර්භණීභාවය පිළිබඳ පුවත ද ඔවුන් රම්පෙඩි සමග බෙදා ගෙන ඇත.

කෙසේ වෙතත්, සංස්කෘතිකමය සහ ආගමික හේතු මත දරුවන් ප්‍රසූත කරන තෙක් එම පුවත ප්‍රචාරය නොකරන ලෙස සිතෝල් යුවළ රම්පෙඩිගෙන් ඉල්ලා තිබුණු බව එම මාධ්‍ය ආයතනය පවසයි.

ජුනි 7 වන දා සිතෝල්, ස්ටීව් බිකෝ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එදින සවස් වරුවේ ඇය දරුවන් 10 දෙනෙකු, එනම් පිරිමි ළමයින් හත්දෙනෙකු හා ගැහැණු ළමයින් තිදෙනෙකු බිහි කර ඇත. 

දරුවන් අට දෙනෙකු අපේක්ෂා කළ වෛද්‍යවරුන්, සිතෝල් දරුවන් 10 දෙනෙකු ප්‍රසූත කිරීමෙන් පුදුමයට පත් වූයේ යැයි Independent Media ආයතනය පවසයි.

ස්වාභාවිකව ඇය දරුවන් පස් දෙනෙකු බිහි කර ඇති අතර අනෙක් දරුවන් පස් දෙනා බිහි කිරීම සඳහා සිසේරියන් සැත්කමකට භාජනය වී තිබේ.

පසුව සිතෝල් කෙටි පණිවුඩයක් හරහා සිය සහකරු වන සොටෙට්සි සමග මෙම පුවත බෙදාගෙන ඇති අතර, ඔහු එය රම්පෙඩි සමග බෙදා ගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම යුවළ රම්පෙඩිගෙන් ඉල්ලා ඇත්තේ, විවිධ හේතු මත දරුවන් උපන් ස්ථානය හෙළි නොකරන ලෙස ය.

එමෙන් ම, ශල්‍යකර්මයෙන් ඇති වූ සංකූලතා සහ කොවිඩ්-19 සීමාවන් හේතුවෙන් පවුලේ සාමාජිකයින්ට සහ මාධ්‍යවේදියාට ද රෝහලට පැමිණිය නොහැකි බව ද සිතෝල් දන්වා තිබේ.

අනතුරුව, ජූනි 10 වන බ්‍රහස්පතින්දා සොටෙට්සිගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සිතෝල් අතුරුදන් වී ඇති බවට දකුණු ටෙම්බීසාහි පොලිස් ස්ථානයකට පැමිණිලි කර ඇත.  

කෙටි පණිවුඩ හරහා ඇය සමග නිරන්තර සම්බන්ධතා පැවැත්වුව ද ඔහු ඇයව දැක නැති බව සොටෙට්සි සඳහන් කර තිබේ.

පසුව ගෞතන්ග් පළාතේ සමාජ සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, සිතෝල් අතුරුදන් වී නොමැති බවය.

සිතෝල්, සොටෙට්සිට තහවුරු කර ඇත්තේ, ස්ටීව් බිකෝ ශික්ෂණ රෝහලේ තමන් තවමත් සිටින බවය.

ජූනි 15 වන අඟහරුවාදා, ස්ටීව් බිකෝ ශික්ෂණ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරීවරයා දකුණු අප්‍රිකානු ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාවකට ප්‍රකාශ කර ඇත්තේ, සිතෝල් ඇය තම දරුවන් ලුවී පාස්චර් රෝහලේදී ප්‍රසූත කර ඇති බවත් ස්ටීව් බිකෝ ශික්ෂණ රෝහලට මාරු කරනු ලැබූ එම දරුවන් බැලීමට ඇය ජූනි 12 වන දින ප්‍රථම වරට තම රෝහලට පැමිණි බවත් ය.

නිවුන් දරුවන් 10 දෙනාගේ උපත ව්‍යාජ බවත් සිතෝල්ට මනෝචිකිත්සක උපකාර අවශ්‍ය බවත් ගෞතෙන්ග් රජය සහ ස්ටීව් බිකෝ රෝහලේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කළ බව Independent Media ආයතනය පවසයි.

ඒ අනුව, මෙම අවුල් සහගත සිදුවීම් පිළිබඳව Independent Media ආයතනය පෞද්ගලිකව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එමෙන් ම, නෛතික කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් තමන් සියලු සාක්ෂි සහ වාර්තා අදාළ පාර්ශව වෙත ඉදිරිපත් කරන බව ද  Independent Media ආයතනය පැවසීය.

ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ, සිතෝල්ට ලබා දුන් ප්‍රතිකාර පිළිබඳව තමන් දැඩිව කම්පා වන බවය.

“පෙර නොවූ විරූ උපතක් සිදු කළ ඇයට ආහාර, ආධාර, පශ්චාත් ප්‍රසව වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබා දී නැහැ. ඕනෑ ම උපතක් දුෂ්කර විය හැකියි. නමුත් දරුවන් 10 දෙනෙකු ප්‍රසූත කිරීම සුවිශේෂීයි. ඒ සඳහා සුදුසු පරිදි සූදානම් විය යුතුව තිබුණා,” යැයි ඔවුහු පැවසූහ.

“ඊටත් වඩා භයානක දෙය තමයි, තමන් ස්ටීව් බිකෝ රෝහලේ නොමැති බවට බලධාරීන්ට ප්‍රකාශ කරන ලෙස සිතෝල් මහත්මියට රෝහල් බලධාරීන් බලපෑම් කිරීම. රෝහල සහ රජයේ බලධාරීන්ගේ කටයුතු නිසා සිතෝල් මහත්මිය ශාරීරික හා මානසික වශයන් පීඩා වින්දා,” ඔවුහු තවදුරටත් පැවසූහ.

Independent Media ආයතනය කියා සිටියේ, මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ අනාවරණය කිරීමක් සහ දරුවන්ට සිදුවී ඇති දේ පිළිබඳව රෝහල විසින් මහ ජනතාවට කරුණු හෙළි කළ යුතු බවය.

“අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සිතෝල් සහ ඇයගේ දරුවන්ට අපරාධමය වරදක් සිදු වුණේ ද යන්න පිළිබඳව සොයා බැලීමට කඩිනම් පියවර ගන්න කියලා,” ඔවුහු පැවසූහ.

එමෙන් ම, සිතෝල් සහ තම කර්තෘ පීට් රම්පෙඩි ද ආරක්ෂා කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව Independent Media ආයතනය වැඩිදුරටත් පැවසීය.

තාරක සම්මාන්

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.