Home » විටමින් දීමෙන් දරුවන් කොරෝනාවෙන් ආරක්ෂා කර ගන්න බෑ : දරුවන් රැක ගන්න දෙමාපියන් කළ යුතු දේ

විටමින් දීමෙන් දරුවන් කොරෝනාවෙන් ආරක්ෂා කර ගන්න බෑ : දරුවන් රැක ගන්න දෙමාපියන් කළ යුතු දේ

by SKYY NEWS | SRI LANKA
0 comment 1,148 views
විටමින් දීමෙන් දරුවන් කොරෝනාවෙන් ආරක්ෂා කර ගන්න බෑ Skyylk

පිටතින් කොතෙක් ප්‍රතිශක්තිය වඩවන ඖෂධ ලබා දුන්න ද දරුවන් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගත නොහැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, දරුවන් ආරක්ෂා කර ගත හැක්කේ අභ්‍යන්තර ප්‍රතිශක්තිය ගොඩනැගීමෙන් පමණක් බවය.

එබැවින් කොරෝනාවෛරසය හමුවේ තම දරුවන් පිළිබඳව නිරන්තර අවදානයෙන් පසුවෙමින් ඔවුන්ගේ ශරීරය තුළ ඇති විය හැකි වෙනස්කම් ගැන සැලකිලිමත් විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මේ දිනවල විටමින් C ඇතුළු ප්‍රතිශක්තිය වඩන ඖෂධ වර්ග ළමුන්ට ලබා දීම සම්බන්ධ විවිධ ප්‍රචාර සිදු වන බැවින් එවැනි ඖෂධ දරුවන්ට ලබා දීමෙන් ඇති වන තත්ත්වය පිළිබඳ කළ විමසීමේදී ඔහු ඒ පිළිබඳව පැහැදිලි කළේ මෙලෙසිනි. 

විටමින් C නිරන්තරයෙන් කුඩා දරු⁣වන්ට දීමෙන් වෛරසයට එරෙහිව ක්‍රියාකාරිත්වයක් සිදුවෙනවා ද?

“කොව්ඩ්-19 වෛරසයක් නිසා හැදෙන ලෙඩක්නෙ. සාමාන්‍යයෙන් ඉබේ තමා හොඳ වෙන්නේ. පිටින් එක එක දුන්නා කියලා ප්‍රතිශක්තිය වැඩි කරන්න බෑ. මන්දපෝෂණය වගේ නම් ප්‍රතිශක්තිය අඩු වෙන නිසා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ළමයි ක්‍රියාකාරකම් කරලා ඉන්න ඕනි. එහෙම නැතිව බෙහෙත් වර්ග දීලා බෑ. විටමින් ඌණතාවක් වගේ නම් පුළුවන්. ඒත් විටමින් වැඩිපුර දුන්නා කියලා විශේෂ ප්‍රයෝජනයක් නෑ. හොඳ බර වැඩි ළමයෙක් නම් එහෙම වුවමනා වෙන්නෙත් නෑ. විටමින් දුන්නා කියලා ලෙඩේ නැති වෙන්නේ නෑ. අනවශ්‍ය පරිදි විටමින් D වගේ එහෙම දෙන්නත් හොඳ නෑ. විටමින් C ප්‍රතිශක්තිය ඇති කරන්න ලබා දෙනවා. නමුත් මේ පිටින් විටමින් දුන්නා කියලා වැඩක් නෑ. ඇතුළෙ ප්‍රතිශක්තිකරණයෙන් ම තමා ලෙඩේ හොඳ වෙන්නේ.”

දේශිය ඖෂධ වර්ග, දියර වර්ග දිනපතා දරුවන්ට ලබා දීමෙන් ආරක්ෂාවක් සැලසෙනවා ද?

“ඒ ගැන හරියට කියන්න දන්නෙ නෑ. පොදුවේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒවායින් අමුතුවෙන් විශේෂයෙන් වැළඳෙන එක වැළකෙන්නේ නෑ.”

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ඖෂධ වර්ග ප්‍රචාරය කරනවා. මේවා ලබා ගැනීම සුදුසු ද?

“මිනිස්සු මේ වෙලාවේ කොහොම හරි ලෙඩෙන් බේරිලා ඉන්න විදියක් නේ හොයන්නේ. ඉතින් වෙළෙන්දෝ එක එක ඒවා විකුණනවා. මිනිස්සු බයට ප්‍රචාරය කරනවා. වෛරස ලෙඩක් නිසා ඒවා දුන්නාට වැඩකුත් නෑ. ඉබේ ම තමා ප්‍රතිශක්තිය වැඩි වෙන්නේ.”

කොරෝනා වැළඳුණු දරුවෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මිය යාමේ අවදානම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා ද?

“වැඩිහිටියන්ගෙත් ඒ තත්ත්වය තිබුණා. ඒක එක පාරට වාර්තා වුණු තත්ත්වයක් නෙවේ. නිව්මෝනියා වගේ හුස්ම ගන්න බෑ වගේ කොහොමත් තියෙනවානේ මේකෙදි. මේක හැමෝට ම නෙවේ, දැන් ළමයෙක් නම් සෙල්ලම් කළා ම වගේ මහන්සියත් එක්ක මේ තත්ත්වයේදි රෝග ලක්ෂණයක් පෙන්නන්නෙ නෑ. මිය ගිය ළමයාත් එහෙමයි. අපිට ඒ ළමයාව බේර ගන්න බැරි වුණා. කලාතුරකින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.”

කොරෝනා වැළඳුණු සහ නොවැළඳුණු නිවෙස් තුළ නිරෝධායනය වන දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්න කළ යුත්තේ මොනවා ද? 

“ලෙඩේ තියෙන බව දැන ගත්තොත් ගෙදර නිකම් තියාගෙන ඉන්න එපා. MOH හරි PHI හරි, දීලා තියෙන දුරකතන අංක හරි දැනුවත් කරන්න. වෙන රෝග ලක්ෂණ නැත්නම් අවුරුද්දකට වැඩි නම්, නිධන්ගත රෝග නැත්නම් ගෙදර තියන් හිටියට කමක් නෑ. තද රෝග ලක්ෂණ තියෙනවා නම් රෝහල්ගත කරන්න. වෛද්‍ය අධික්ෂණය යටතේ ම විතරයි ළමයින්ව තියාගන්න ඕන. 247 අංකයට ⁣අමතලා දැනුවක් කරන්නත් පුළුවන්. ළමයා ගැන අවදානෙන් ඉන්න. දියර වර්ග දෙන්න. උණ වගේ තියෙනවා නම් පැරසිටමෝල් විතරක් දෙන්න. නැතිව ළමයෙක්ට, මේක වෛරසයක් නිසා ඇන්ටි⁣බයොටික් වගේ දීලා වැඩක් නෑ.”

දෙමාපියන් වශයෙන් වෛරසයෙන් දරුවන් රැක ගැනීමට වඩාත් සැලකිල්ලෙන් කළ යුත්තේ කුමක් ද? 

“විශේෂයෙන් ම ළමයා ගැන අවදානෙන් ඉන්න. වෙන දා වගේ ක්‍රියාශීලීබව අඩු නම්, වමනය, පාචනය, උණ වගේ ලක්ෂණ තියෙනවා නම් රෑෂ් වගේ තියෙනවා නම් ඉක්මනින් ළඟ ම තියෙන රෝහලට ගෙනියන්න. ඉස්පිරිතාලෙට එන්න පරක්කු වෙන්න එපා. වෙනත් රෝගවලට බෙහෙත් ගන්න අයට ඉස්සර වගේ ම පිළිවෙළට ඒ බෙහෙත් දෙන්න. ඒක වැදගත්. සායනවලට යන්න. ඒවා සාමාන්‍ය පරිදි කෙරෙනවා රෝහල්වල. ඒවා තියෙන දවස්වලට යන්න. බෙහෙත්, ඉන්හේලර් වගේ පා⁣විච්චි කරනවා නම් ඒවා දිගට ම දෙන්න. ඉක්ජෙක්ෂන් දෙන ඒවා සාමාන්‍ය පරිදි සිදුවෙනවා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හමුවෙලා ඒවා සිදු කරගන්න පුළුවන්.”

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.