පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරමින් එරාවූර් සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක පැමිණි 31 දෙනෙකු අද (ජූනි 29) දින අලුයම කොළඹ-නුවර පාරේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ බස් රථය පරික්ෂාවට ලක්කර එහි ගමන් කළ මගීන් 29 දෙනෙකු, රියැදුරු සහ කොන්දොස්තර ඇතුළු 31 දෙනෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
අත්අඩංගුවට ගෙන ඇති එම පිරිස අද දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව ඊයේ (ජූනි 28) දිනයේදී කුඹුක්කැටේ ප්‍රදේශයේදී නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නිධන් හෑරූ පුද්ගලයන් දෙදෙනෙකු ද කුඹුක් කැටේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තව ද ඊයේ දින පොලිසිය මගින් සිදු කර ඇති නිරෝධායන මෙහෙයුම්වලින් පුද්ගලයින් 455 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 87 දෙනෙක් මහනුවර ප්‍රදේශයෙන්, 53 දෙනෙකු කුලියාපිටිය ප්‍රදේශයෙන් සහ 51 දෙනෙක් ඇල්පිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 45,099ක් වන බවය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජූනි මස 20 වන දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිරෝධායන නීති අනුව මහජනතාව තවදුරටත් කටයුතු කළ යුතු බවත් නිරෝධායන නීති උල්ලංඝණය කරන්නන් සොයා පොලිසිය මගින් සිදු කරන මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් ය.