
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වන කළුතර උතුර පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ (ජූනි 18) දින සිදුවුණු මෙම වැටලීම දින 6ක කාලයක් තිස්සේ සිදු කළ විමර්ශනයක් මත පදනම්ව සිදුවී ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබූ 52kg කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු. කෝටි 53ට ආසන්න වටිනාකමින් යුතු බවය.
මෙම ජාවාරම පිටුපස සිටින ප්‍රධාන මෙහෙයුම්කරු 25 හැවිරිදි ශ්‍රී ලංකික තරුණයෙකු බව හඳුනාගෙන තිබේ.
එම මෙහෙයුම්කරු මේ වන විට විදේශ රටක සිටින බවට සැක කෙරෙන අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලැබුණු තොරතුරක් මත දකුණු පළාතේ ගාල්ල, අහංගම සහ බද්දේගම යන ප්‍රදේශවල සිදු කරන ලද විශේෂ වැටලීමකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා ජූනි 24 දින දක්වා රැඳවුම් බාරයේ තබා ගැනීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (ජූනි 19) සවස පොලිසියට අවසර ලබා දුන්නේ ය.
තව ද දුරකතරන අංක 5ක විශ්ලේෂණ තොරතුරු ලබා ගැනීම සඳහා ද අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නේය.
ෆර්හාන් නිසාම්දින් – ගාල්ල, එන්.ජී. ලියනගේ – අහංගම